භාවනා Meditation: භාවනාව දියුණුකර ගැනීමට උපදෙස් III

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං - සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින් තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි.

නුවන ඇත්තෝ මේ මඟ ගමන් කරත්වා !

භාවනාව දියුණුකර ගැනීමට උපදෙස් III

භාවනා කිරීමට බලාපොරොත්තු වන්නවුන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඇත. භාවනා කිරීමේදී පළමු කොට නිතර ම තමන්ගේ සිත අරමුණ කෙරෙහි ම යෙදවිය යුතු ය. තමන්ට හොඳින් හුරු පුරුදු බුදුගුණ ගාථා පිරිත් වැනි දෙය කියන විට වාචෝද්ගත ව තිබෙන නිසා ඉබේ ම කියැවෙන ස්වභාවයක් ඇත. එසේ ඉබේ ම කියැවෙන නිසා සිත වෙනත් අරමුණු කරා ගමන් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි.
ඇතැම් විට බුදුන් වැඳීම වැනි ක්‍රියා සිදු කරන විට ඒ බව මතක් වන්නේ ද බොහෝ ගාථා කියවමින් වෙලාවක් ගත වූ පසු ව ය. ඒ ලෙස සිත බාහිර අරමුණු කරා ගමන් කරන තාක් සිත සමාධිගත වීමක් හෝ කුසල් හට ගැනීමක් හෝ සිදු නොවන්නේ ය. ඇතැම් දෙනා භාවනා කරනවා යැ යි කරනුයේ කවි ගාථා වාක්‍ය වැනි දෙය කියැවීම පමණකි. එහෙත් නිවැරැදි ක්‍රමය නම්, කියන කරුණුවල අදහස සිතට දනවමින් සිත නොකඩවා ම ඒ අනුව යෙදවීම යි. එසේ වූ විට සිතෙහි ඒකාග්‍රතාව සහ කුසල සිත් ඒකාන්තයෙන් ම හට ගනියි.
බොහෝ විට භාවනා කිරීමෙන් ප්‍රතිඵලයක් නොලබන්නේත් සිත සමාධිගත නොවන්නේත් නොදන්නාකම නිසා බව පැහැදිලි ය. තමන් කටපාඩම් කරගත් භාවනා වාක්‍ය සමූහයක් පිළිවෙළින් සිහි කරමින් කරන භාවනාවේදී මෙම වංචා සහගත සිත් පෙරළිය සිදු වන බව පෙනෙයි.
කටපාඩම් කරගත් වාක්‍ය සමූහය නිරුත්සාහයෙන් ම සිතීමට පුරුදු වූ විට ඒවා ඉබේ ම මෙන් සිතට නැගෙන්නට පටන් ගන්නා අතර, සිත වෙනත් බාහිර අරමුණු කරා ද දුවන්නට පටන් ගනියි.
ඇතැම් විට මෙය සිතෙහි ඇති වන වේගයත් කෙලෙස්වලට ඇති වූ සසර පුරුද්දත් නිසා ඇති වන තත්ත්වයක් විය හැකි ය. එබැවින් භාවනා වාක්‍යයන් සිහි කරන හැම මොහොතක ම සිත බැහැරට යන්නේ ද කියා විමසිල්ලෙන් සිටිය යුතු ය.
එසේ විමසිලිමත් වන මනසිකාරයක් පාසා ම තමන්ගේ අරමුණට පිටුපසින් ගමන් කරවිය යුතු ය. එවිට සිත හදිසියේ බැහැර ගිය ද නැවත වහා හසු වන බැවින් නිසි අරමුණ වෙත ගැනීමට හැකියාව ලැබෙයි.
නිරන්තරයෙන් ම කෙලෙස් ගිනිදැල් පැනනැගීම සිතෙහි ස්වභාවය යි. ඒ සියල්ල මගහරවාගෙන මනසිකාර භූමිය පිරිසිදු කරගැනීම ඉතා වැදගත් වේ. සිත කෙලෙස් අරමුණු කරා පිට පැන යෑමත් අරමුණු තුළ නළියන කුඩා කුඩා කෙලෙස් නැති කරගෙන පිරිසිදු සිහියෙන් භාවනා වාක්‍යවලට අනුව සිත ඍජුව ගමන් කරවමින් භාවනා වැඩීමත් කරන විට පිරිසිදු සතිය වැඩෙයි. සිත වෙනත් බාහිර අරමුණු කරා නොයොදවා නියමිත භාවනා මනසිකාරයෙහි ම වැඩි වේලාවක් තබාගැනීම සමාධිය වශයෙන් හැඳින්වේ.
භාවනා කිරීමට බලාපොරොත්තු වන අය තමන්ගේ උගත්කමට ගැළපෙන ක්‍රමයක් තෝරාගැනීම බෙහෙවින් වැදගත් වෙයි.

ප්‍රගුණ කිරිම අදම ආරම්භ කළ හැකිද?

අප සිත තුළ පුරුදු වු දෛනික චක්‍රයන් ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස පහත චක්‍රය පෙන්වා දිය හැක. මෙවැනි චක්‍රයන් වෙනස් කර, ඒ තුළට භාවනාව එකතු කර ගැනීම සඳහා පහත උපදෙස් පිළිපදින්න.

1. අධිෂ්ඨානයක් කිරීම
නින්දට යෑමට පෙර අද දිනයේ සුළු වේලාවක් භාවනාවට කෙසේ හෝ වෙන් කර ගනිමී යනුවෙන් අධිෂ්ඨාන කරන්න.

2.භාවනාවට කාලයක් නිගමනය කිරීම
මේ මොහොතේ සිට නින්දට යෑම දක්වා පෙළ ගැසි ඇති වැඩ සිහියට නගා ගන්න. ඒ අනුව භාවනාවට සුදුසුම අවස්ථාව සොයාගන්න. විනාඩි 5ත් 10ත් අතර කාලයක් භාවනාවට වෙන් කර ගන්න.

3.මනා සිහියෙන් කල් ගෙවන්න අධිෂ්ඨාන කර ගන්න.
භාවනාව ආරම්භ කරන කාලය පැමිණෙන තුරු සිහියෙන් යුතුව කල් ගෙවීම භාවනාව ආරම්භ කිරීම සඳහා ඉමහත් රුකුලක් වේ. මානසික යෝග්‍යතාවයට බාධාවන කිසිම සිතුවිල්ලකට ඉඩ නොදෙන්න.

භාවනාව ඇරඹීම
1. ඔබගේ නිවස තුළ හෝ එළිමහනේ පාරිසරික යෝග්‍යතාවයන් පවතින ස්ථානයක් තෝරා ගන්න.
2. භාවනාවට වාඩි වීමේදී බද්ධ පර්යංකයෙන් හෝ අර්ධපර්යංකයෙන් හෝ ඔබට පහසු ඕනෑම ආකාරයකට වාඩි විය හැකිය. බිම වාඩි වීම අවශ්‍යම නොවේ.
3. වාඩි වී භාවනා කිරීම අපහසු නම් සතර ඉරියව්වෙන් තමාට පහසු ඕනෑම ඉරියව්වක් සුදුසුය.
4. ඔබගේ ඇඳුම පහසු එකක් විය යුතුය.

භාවනාව
(මුලික සුව අභ්‍යාසය - 1)
ඔබ තෝරා ගත් ස්ථානයට පැමිණ භාවනාව ප්‍රගුණ කිරීම සඳහා තෝරා ගත් ඉරියව්වට පැමිණ, පහත උපදෙස් පිළිපඳීන්න.
1. නෙත් පියා ගන්න.
2. ඔබගේ ශරීරයේ ඉරියව් කෙරෙහි සිත යොමු කරන්න
* දෙපා පිහිටි අයුරු
* තට්ටම් පෙදෙස පිහිටා ඇති අයුරු
* පිට කොන්ද පිහිටා ඇති අයුරු
* උදරය පිහිටි අයුරු
* පපු පෙදෙස පිහිටි අයුරු
* දෙඅත් පිහිටි අයුරු
* බෙල්ල පිහිටි අයුරු
* හිස පිහිටි අයුරු
* මුළු ශරීරය පිහිටි අයුරු
3. ශරීරයේ කුමන ‍හෝ තැනක වේදනාවක් අපහසුතාවයක් ඇත්නම් ඉරියව් මාරු කරමින් පහසු ඉරියව්වකට පැමිණෙන්න.
4. විනාඩි 5 ක් මෙම ඉරියව්වෙන්ම සිටිනවා යයි අධිෂ්ඨාන කර ගන්න
5. සිහියෙන් යුතුව දීර්ඝ ආශ්වාස කර, තත්පර 1-2ක් රඳවා ගැනීමෙන් පසුව සෙමින් ප්‍රාශ්වාස කරන්න
6. මෙවැනි දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාස 5 වතාවක් කරන්න
7. ආශ්වාසයේදි ඔබ ප්‍රබෝධවන බවත්, ශක්තිමත් වන බවත්, සිතන්න
8. ප්‍රාශ්වාසයේදි ඔබ නිදහස් වන බවත්, සැහැල්ලු වන බවත්, සුවපත් වන බවත්, නිවීසැනසෙන බවත් සිතන්න
9. දැන් උත්හාසයකින් තොරව ස්වාභාවිකව ආශ්වාස ප්‍රාශ්වාස වන්නට ඉඩ හරින්න.
10. ඔබට ආශ්වාස ප්‍රාශ්වාස සංවේදි වන්නේ නාසයට නම්, ආශ්වාසයේදි “ඇතුළු වෙමි” ප්‍රාශ්වාසයේදි “පිටවෙමි” යන්නේන්ද, ඔබට සංවේදි වන්නේ උදරය හෝ පපු ප්‍රදේශය නම්, ආශ්වාසයේදි “පිම්බෙමි” ප්‍රාශ්වාසයේදි “හැකිලෙමි” යනුවෙන්ද මෙනෙහි කරන්න.
11. ඔබගේ අධිෂ්ඨානය වියයුත්තේ භාවනාව අවසන් වනතුරු කිසිම ආශ්වාසයක් හෝ ප්‍රාශ්වාසයක් ඔබට නොදැනි සිදුවීමට ඉඩ නොදීමයි. මෙහිදි වෙනත් සිතුවිලි ඇති වුවද එය බාධාවක් යයි නොසිතන්න.
12. මෙසේ විනාඩි 5 ක් පමණ මෙම අභ්‍යාසය අඛණ්ඩව කරන්න.
13. දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාස 3ක් සිදුකර භාවනාව අවසන් කර ඇස් අරින්න.
මෙම සුව අභ්‍යාසය දිනපතා පුරුදු කිරීමට අධිෂ්ඨාන කරන්න.

කමටහන් විග්‍රහය
භාවනාවක් අවසානයේ කර්මස්ථාන විග්‍රහයක් භාවනා උපදේශකයෙකු සමඟ සිදු කළ යුතු වුවද සරළ කර්මස්ථාන විග්‍රහයක් පහතින් දැක්වේ.
භාවනාව වඩන කාලය තුළ ඔබගේ සිත හැසුරුණු ආකාරය සිහිපත් කර ගන්න. ඔබට ලැබුණු අත්දැකීම ප්‍රධාන කොටස් 3ට වර්ග කළ හැක. (පහත වගුව බලන්න.)
අත්දැකීම
1.සිත ආශ්වාස ප්‍රාශ්වාසයෙන් මිදි, වෙනත් සිතුවිලි හටගත් අවස්ථා සහිත භාවනාව
2.සෑම ආශ්වාසයක් සහ ප්‍රාශ්වාසයක්ම සිහියෙන් යුක්තව සිදු වු භාවනාව මෙය ජයග්‍රහණයකි.
3.ඔබ බලාපොරොත්තු නොවු ආකාරයේ අත්දැකීමක් සහිත භාවනාව

උපදෙස
වැඩි වීර්යයක් යොමු කරන්න. ස්වභාවිකව ආශ්වාස ප්‍රාශ්වාස වෙන්නට ඉඩ නොදි තරමක උත්සාහයකින් යුතුව භාවනා අභ්‍යාසය ප්‍රගුණ කරන්න.
මෙම තත්වය ගිලිහි යන්නට ඉඩ නොදි දිනපතා භාවනාව ප්‍රගුණ කරන්න.
හැකි ඉක්මණින් භාවනා ගුරුවරයෙකු මුණ ගැසි උපදෙස් ලබා ගන්න.



free counters